තුන් හැවිරිදි දැරිය හට පියා විසින් කතන්දරයක් කියා දීමෙන් පසුව දැරිය විසින්ද යාඥාවක් කියා නිදා ගැනීමට පුරුදුව සිටියාය. මෙසේ දින කිහිපයක් ගතවිය. එක් දිනක් රාත්‍රියේ දැරිය විසින් කී යාඥාවේ අවසානය අමුතු විදිහේ එකක් විය. එය මෙසේය. සර්වබලධාරිවු දෙවියන් වහන්ස, ඔබ මාගේ මව ආරක්ෂා කරදෙන සේක්වා...! මාගේ පියා ආරක්ෂා කරදෙන සේක්වා....! මාගේ ආච්චි ආරක්ෂා කරදෙන සේක්වා....! මාගේ සීයා ආරක්ෂා කරදෙන සේක්වා..... !
'ඇයි දුව, ඔයා දෙවියන්වහන්සේගෙන් සීයා ආරක්ෂා කරදෙන සේක්වා...කියලා කිව්වේ' කියලා පියා ඇසීය. එවිට දුව,අඩ සිහියෙන් මෙන් 'මම දන්නේ නැහැ තාත්තේ,.....මට එහෙම කියන්න ඕනෑ නිසා තමයි මම එහෙම කිව්වේ ' කියලා දැරිවිය කිව්වා.
පසු දින උදෑසන සීයා ස්වර්ගස්ථ වි සිටියේය. මෙම අමුතු සහසිද්ධියක් සිදුවීම පියාට වටහා ගැනීමට නොහැකි විය. දැරිය තුල යම් බලවේගයක් ක්‍රියා කරනු ඇතැයි සුළු සැකයක් පියා තුල ඵලදරන්නට විය. දැරිවිය දිනපතා යාඥාව ආරම්භ කරන මොහොත ආ විට ඉබේම පියාගේ ශරීරය දරදඬු වන්නාක් මෙන් දැනෙන්නට විය. කාලය මෙසේ ගෙවී ගොස් මාස කිහිපයකට පසුව නැවතත් දැරිවිය විසින් කල යාඥාවේ අවසානය අමුතු එකක් විය. එය මෙසේය.
සර්වබලධාරිවු දෙවියන් වහන්ස, ඔබ මාගේ මව ආරක්ෂා කර දෙන සේක්වා...! මාගේ පියා ආරක්ෂා කරදෙන සේක්වා....! මාගේ ආච්චි ආරක්ෂා කරන සේක්වා....!
මෙය ඇසූ සැනින් සලිතවූ පියා දැරිය නිසැකයෙන්ම දෙවියන් සමඟ කතා කිරීමේ බලයක් හෝ යම් කිසි අදිසි බලවේගයක මෙහෙයවීමක් ඇය තුල පවතිනවා ඇති යනුවෙන් ඔහු තුල බියක් ඇති විය.
අවාසනාවක මහත...! පසු දින දැරියගේ ආච්චිද ස්වර්ගස්ථ වී සිටියේය.
ආච්චිගේ අවසන් ගමනින් පසු තවත් බොහෝ කුතුහලයන්ගෙන් පිරි රාත්‍රීන් කිහිපයක් පසු විය. සැම රාත්‍රියකදීම පියාගේ කතන්දරය අවසානයේදී දැරියගේ යාඥාව දෙස ඉතා ඕනෑකමින් අසන්නට පියා පුරුදු වී සිටියේය. එම මොහොත ඔහු නිතරම බියෙන් සහ සැකයෙන් පසු කළේය. මෙසේ තවත් සති කිහිපයක් ගතවූ එක් රාත්‍රියකදී දැරිවිය විසින් නැවතත් මත් ගතියකින් මෙන් සුපුරුදු යාඥාව කියා අවසානයේදී මෙසේ කීවාය.
සර්වබලධාරිවු දෙවියන් වහන්ස, ඔබ මාගේ මව ආරක්ෂා කර දෙන සේක්වා...! මාගේ පියා ආරක්ෂා කරදෙන සේක්වා....!
තම දියණියගේ යාඥාව ඇසූ පියා මෙදා සැරේ නම් ප්‍රායෝගිකවම තිගැස්මකට ලක් විය.ඔහුට එදින රාත්‍රියේ විවිධ මායාවන්,ජායාවන් මෙන්ම මරණයේ විවිධ පැතිකඩයන් පෙනෙන්නට විය. නිදාගැනීමට ඔහු බියක් දැක්වීය. ඔහු එළිවෙන පාන්දර යාමයේ ලැහැස්තිවී වෙනදාට වඩා වේලාසනින් තම කාර් රථයෙන් කාර්යාලය බලා පිටත් විය.
උදය වරුව අසහනයෙන් සහ බියෙන් කාර්යාලයේ එහා මෙහා යමින් පසුකල ඔහු තම අත් ඔරලෝසුවෙන් වේලාව බැලුවේය.දවල් 12 යි....අපහසුවෙන් මෙන් දිවා ආහාරය වැළඳු ඔහුගේ වද දෙන සිතට ක්ෂණිකවම යම් දෙයක් හසු විය. එනම් මධ්‍යම රාත්‍රී 12 පසුවෙන තුරු තම කාර්යාලයෙන් බැහැර නොවී සිටිමට ඔහු අදිටන් කර ගත්තේය. නිවසට යෑම තමන්ගේ මාරයා තමන් කරා කැන්දා ගැනීමක් බව ඔහුට වැටහුණි. ඊට වඩා ඔහුගේ ජිවිත ආරක්ෂාව තම කාර්යාලයේදී සම්පූර්ණයෙන්ම පවතින බව ඔහු තදින්ම විශ්වාස කළේය. ඔහු කොපි පානය කළේය. බැල්කනියට ගොස් දුම් වැටියක් ඉරුවේය. එම ක්‍රියාවන් නැවත නැවතත් සිදු කලේය. රූපවාහිනියේ නාලිකාවන් මාරු කරමින්ද නොසිතූ විරූ ලෙස නැගෙනා ශබ්දයන් දෙස ඉතා ඕනෑකමින් සවන් දෙමින්ද, ඒ දිසාවන් දෙස විපරමින් බලමින්ද, වාඩිවෙමින්,නැඟිටිමින්,වේලාව බලමින් හිස විකාර වුවෙකු මෙන් එම පැය කිහිපය ගත කළේය.
දැන් වේලාව මධ්‍යම රාත්‍රී දොළහය.ඔහු තවත් තත්පර 60 පසුවෙන තෙක් පසු විය.එම තත්පර 60 ඔහුට පැය 12 මෙන් දැනුනේය. එම කාලය පසුවූ පමණින් ඉඩෝරයට වැහි පොදක් ලැබුවා මෙන් දීර්ඝ සුසුමක් හෙලූ ඔහුගේ මුවඟ සිනහවක්ද සටහන් විය. ජයග්‍රාහි තරඟකරුවෙකු මෙන් ඔහුගේ සිත ප්‍රීතියෙන් ඉපිලී ගියේය. ඔහු තම වාහනයට ගොඩ වුනේය. ඔහුට නොදැනීම කාර් රථයේ වේගය උත්සන්න වන්නට විය. ඔහු සිටිනුයේ සිහිනයක් මැද මෙන් මෙන් ඔහුට වැටහුණි.අවසානයේදී ඔහු නිවස කරා පැමිණියේය.
ඔහුගේ පැමිණීම හඳුනා ගත් බිරිඳ පැමිණ ඔහු පිළිගත්තාය.
බිරිඳ: ඔයා කවමදාකවත් ඔහොම පරක්කුවෙලා නැහැ.ඇයි ඒ.....මොකක්ද ඔයාට වුනේ ...?
සැමියා: මට මොකක්ද වුනේ කියලා ඔයා මගෙන් අහන්න එපා....මම මගේ ජිවිතේ බොහොම භයානකම දවස අද දවසේ ගෙවාගත්තා......එච්චරයි......
බිරිඳ: ඔයා කියන්නේ ඔයාට විතරක්ද අද දවස නරක් වුනේ....මටත් වුනේ එක අතකින් ඔයා කියනවා වගේ කිව්වොත් ......මම මගේ ජිවිතේ බොහොම භයානකම දවස අද ගෙව්වා.....අද උදේ අපේ කොම්පැනියේ බොස් රැස්වීමක් අතරේ ඇදගෙන වැටිලා එතනම මැරුණා......... !
No comments:
Post a Comment