Tuesday, December 2, 2014
මහා සේල්
වසර අග මහා සේල් කලින්ම පටන් අරන් කියලා කොලඹ වැඩ කරන යාලුවෙක් කිවට මාත් ගියා පොඩ්ඩක් කැරකිලා බලන්ට කියලා. ඔහොම යද්දි මුලින්ම ඕන් තියනවා “බුලත්සින්හල ස්ටොර්ස්” වැඩේ කියන්නේ ගොඩ වෙන්නත් කලින් මුදලාලි මෙහෙම කියපි,
ලයිට් බිල වතුර බිල ගෑස් මිල අඩුකලා
හාල් මිල පාන් මිල සීනි ඇත මග බලා
බලන් සකි හතර අත පාරවල් ඉදිවෙලා
අපේ කඩයට වරෙන් කලගුනට සලකලා
ටිකක් බැලුවා වටපිට ආව ගමන් ගන්නත් බෑනේ. ටිකක් එහායින් පෙනවා තව කඩයක්. පොඩ්ඩක් බැලුවා කඩේ නම “ඇතා වැටුනු වල ස්ටොර්ස්” කඩේ ලගට යද්දිම මුදලාලි මෙහෙම කියපි,
නාස්තිය දුෂනය හතර අත පැතිරිලා
පොලිසිය උසාවිය සාක්කුවේ ඇමිනිලා
බදි උණු කැවුම් යස චීන තෙලේ ගිල්වලා
හොර බොරුව නෑ අපේ ඉදගනින් ගොඩවෙලා
කඩ දෙක තුනකවත් නොබලා ගන්නත් බෑනේ කියලා බලද්දී ටිකක් ඈතට වෙන්ට පේනවා තව පොඩි කඩයක්. කඩේ නම “සාධාරණ බෙල්” . ලංවෙලා බලද්දි මුදලාලි මෙහෙම කියපි,
දරන්නට බැරි තරම් ලිවින් කොස්ට් වැඩිවෙලා
ගොවියෝ වහබොන තැනට කෘෂිකර්මේ පත්වෙලා
කට අරින එකා ලග සුදු වෑන් නවතලා
මර්ධනය කරනවා ඉන්ට බෑ ඉවසලා
කියපු මුදලාලි “අපි කඩේ වහනවා මල්ලි” කියලා කඩෙත් වහලා ගියා කියාන්කෝ. මොනවා කරන්නද කියලා හිතාගන්න බැරුව වට පිට බලද්දී දැක්කා ලස්සන පාට ගාපු අලුත්ම කඩයක්. තාම නමක් ගමක් දාලත් නෑ.ලගදීම ඕපන් කරන එකක් වගේ. ලංවෙලා බැලුවා. අනේ මන්දා ඉස්සරහ දොරේ මෙහෙම කවියක් ලියලා අලවලා ගිහින් තිබුනා.
බලන් පුත අපේ රට අගාධෙක හිරවෙලා
නොදැනීම විශබීජ හතර අත පැතිරිලා
දුටු ගැමුණු පරපුරේ එඩි බලය පෙන්වලා
ගොඩනගමු වරෙවු මේ දිහාවට රොක්වෙලා
දන්නෙම නැතුව හවස් වෙලා, ඇවිදලම ඇගටත් තෙහෙට්ටුයි, තවත් කඩ නම් කීපයක්ම තිබුනත් බඩු ගන්න එකත් එපාවෙලා හිස් අතින්ම ආපහු එන්ට පිටත් වුනා. අපරාදේ අතේ තිබ්බ එකත් වියදම් කරන් රස්තියාදු වුනා විතරයි අන්තිමට.
සැලකිය යුතුයි :- ***මාගේ පිවිතුරු අත්දැකීමක් ඇසුරෙන් නිර්මාණය වුවක් බවත් සමාජ ආර්ථික දේශපාලන කරුණු ගැන මාගේ දැනුම සතුටුදායක නොවන බවත් එවැනි කරුණු හා සම්බන්දතාවයක් නොමැති බවත් කරුණාවෙන් දන්වා සිටිමි.***
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment